උඳුවප් පොහොයේ අගය

ව්‍යවහාරික වර්ෂ ක්‍රමයට අනුව උඳුවප් පුර පසළොස්වක් පොහොය යනු වර්ෂයේ අවසාන පොහොයයි. එනමුත් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය, ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය සරණ ගිය, ඒ උතුම් ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය සරණ ගිය ශ්‍රාවකයින් හට නම් එය එසේ නොවේ. තෙරුවන් සරණ ගිය සැදැහැවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට සාදු කාර දෙමින් සිහි කළ යුතු අනුස්මරණීය වූ සිදු විම් කිහිපයක් ම උඳුවප් පුන් පොහෝ දින මූලික වෙමින් සිදු වී තිබේ.

අනුරාධපුර උඩ මළුවේ විරාජමානව වැඩ සිටින්නේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය. අපගේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මෙලොව උපන් දිනයේ ම මහ පොළොවෙන් ජනිත වූ උතුම් වෘක්ෂය එය යි. දස මාර සේනා පරදවා තිලොව ම ජය ගත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට සෙවණ සැලසූ පින්බර වෘක්ෂය එය යි. දිවමන් මුනිරජාණන් මෙන් අද අප ලක් දෙරණේ ශ්‍රී විභූතියෙන් යුතුව වැඩසිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ පින්බර බිමට වැඩම කරවනු ලැබුවේ උතුම් වූ උඳුවප් පුන් පෝහෝ දිනයේ දී ය.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කොට මේ සිරි ලංකාද්විපයෙහි සම්බුදු සසුන පිහිටුවා මේ ලක් දෙරණ මත භික්ෂු සංඝයා බිහි කරවූ සේක. මේ ලක් දෙරණ මත භික්ෂුණී සංඝයා බිහි කොට වදාළේ මහ රහත් සංඝමිත්තා තෙරණින් වහන්සේ විසිනි. දඹදිව් තලයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩම කරවා ගෙන සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ මේ ලක් දිවට වැඩම කළේ ද උතුම් වූ උඳුවප් පුන් පොහෝ දිනයේ දීය.

636075406.jpg

සැවැත් නුවර ජේතවනාරාමය යනු අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසි හතර වතාවක් ම වස් වැසූ උතුම් පින්බිම යි. එකල අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දැක බලා වන්දනා කර ගැනීම පිණිස බොහෝ දුර බැහැර සිට සැවැත් නුවර කරා ජනයා පැමිණෙන්නට විය. එනමුත් ඇතැම් කාල වල ශාස්තෘන් වහන්සේ වෙනත් ප්‍රදේශයකට වැඩම කොට සිටීම නිසා ඒ ජනයා මහත් දොම්නසිනුත් නොසතුටිනුත් යුතුව ආපසු හැරී යන්නට විය. ආනන්ද ස්වාමින් වහන්සේ විසින් මෙකරුණ බුදුරජාණන් වහන්සේට දන්වන ලදුව උන්වහන්සේ ගේ අනුදැනුම මත ජේතවනාරාමය ඉදිරිපිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගත් බීජයක් රෝපණය කරන ලදී. එතැන් පටන් දෙව්රම් වෙහෙරට පැමිණෙන ජනයා ශාස්තෘන් වහන්සේ වැඩ නොසිටි කල්හී ඒ බුදුරජාණන් වහන්සේ හට දක්වන ගරු බුහුමන් වන්දනාවන් බෝධීන් වහන්සේට දක්වා සතුටු සිතින් ජේතවනාරාමයෙන් නික්ම ගියහ. මේ අයුරින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ම ශාස්තෘන් වහන්සේ සමකොට මහා බෝධීන් වහන්සේට උපහාර දැක්වීම ආරම්භ විය.

අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී ඒ සම්බුදු ගුණ සිහි කරන අපමණ දෙව් මිනිසුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සත්කාර දක්වන්නට විය. එයින් අපමණ පුණ්‍ය ධර්මයෝ ද රැස්කර ගන්නට විය. දඹදිව අධිරාජ්‍යය බලයක් පිහිටුවා පාලනය කළ ධර්මාශෝක රජු ඒ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මහත් වූ ගරු සත්කාරයක් ද උපහාරයක් ද ආදරයක් ද දැක්වූවෙකි. හෙතෙමේ නිරතුරු බෝධීන් වහන්සේට පූජෝපහාරයන් දක්වමින් සැදැහැ සිතින් කල් ගෙවූ රජ කෙනෙකි. මහත් වූ ධනස්කන්ධයක් වියදම් කරමින් අසූ හාර දහසක් වෙහෙර විහාර ඉදි කරවා ධර්මස්කන්ධයන් අසූ හාර දහසට උපහාර පූජාවන් සිදු කළේය. තුන් වෙනි ධර්ම සංගායනාවනට දායකත්වය දරා ශාසන චිරස්ථිතිය වෙනුවෙන් ද කටයුතු කළේය.

එපමණක් ද නොව බුදු සසුනේ ඥාතීත්වය ලබනු කැමතිව තම ආදරණීය පුතණුවන් වන මහින්ද කුමාරයාත් දයාබර දියණිය වන සංඝමිත්තා කුමරියත් සම්බුදු සසුනට පූජා කළේය. ඒ මහා පින්වන්ත මහින්ද කුමාරයා මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි වී නොබෝ කලකින් ම මහින්ද මහ රහතන් වහන්සේ බවට පත්විය. සංඝමිත්තා කුමරිය ද මහ රහත් ආයුපාලි තෙරණියගේ උපාධ්‍යායත්වයෙන් ද ධම්මපාලි රහත් තෙරණින් වහන්සේගේ ආචාර්යත්වයෙන් ද පැවිදි බවට පත්ව නොබෝ කලකින් ම රහත් මෙහෙණින් වහන්සේ නමක් බවට පත්විය.

ලක්දිව බුදු සසුන පිහිටුවීම පිණිස මෙහි වැඩම කළ මහා මහින්ද ස්ථවිරයන් වහන්සේ නොහොත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්වාසී ජනයාට ශ්‍රී සද්ධර්මය පහදා දුන් සේක. ඒ දහම් අසා මගඵල ලැබූ බොහෝ දෙනා අතරේ අනුලා බිසව ඇතුළු කාන්තාවන් පිරිසක් ද සෝවාන් ඵලයට පත්වූහ. ඔවුහු මිහිඳු මහ රහතන් වහන්සේගෙන් බුදු සසුනේ පැවිදි බව ඉල්ලීය. නමුත් භික්ෂුවකට කාන්තා පක්ෂය පැවිදි කරවීමට ශාස්තෘන් වහන්සේ විසින් අනුදැන වදාරා නැත.

ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් මත එවකට ලක් දිව රජ වූ දෙවනපෑතිස් රජු කාන්තාවන් පැවිදි කරවීම පිණිස සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේත්, සිව් බුදුවරුන්ගේම පහස ලද මේ පින්බිමේ රෝපණය කරවීමට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ත් වැඩම කරවන මෙන් ඉල්ලා ධර්මාශෝක අධිරාජ්‍යයා හට හසුන් පත් යැවීය.

මහ රහත් මොග්ගලීපුත්තතිස්ස ස්ථවිරයන් වහන්සේගේ අනුශාසනා පරිදි ධර්මාශෝක නරපතිඳා‍ණෝ පැළලුප් නුවර සිට බෝධීන් වහන්සේ වැඩසිටි භූමිය තෙක් සත් යොදුනක් මාර්ගය සැරසූහ. දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වඩා හිඳුවීම පිණිස රන් කටාරමක් පිළියෙළ කරන ලදී. මහ පෙරහරින් ධර්මාශෝක රජු බෝධීන් වහන්සේ අසළට පැමිණියේය. තමා අතිශයින් ගෞරව දක්වන ඒ උතුම් බෝධීන් වහන්සේ රන් තිර වලින් වට කොට ධර්මාශෝක රජු බෝධීන් වහන්සේ දෙස බලා සිටියේය. අසිරියෙකි! දක්ෂිණ ශාඛාව ඉතිරි වන පරිදි අන් සියලු ශාඛාවෝ අතුරු දහන් වී ගොස් අපූරු ප්‍රාතිහාර්යයක් සිදු විය.

අතිශයින්ම සතුටු වූ රජු බෝධීන් වහන්සේ පැදකුණු කොට වන්දනා කොට රන් පුටුවක් මත රන් කටාරම තැබ්බවීය. ඉන්පසු රන් තෙලි කූරකින් දක්ෂිණ ශාඛාවේ ඉරක් ඇන්දේය. ‘මේ බෝධි ශාඛාව ලක්දිවට වැඩම කළයුතු නම්, මා මේ සම්බුදු සසුනේ විමති රහිත වූයේ නම් මේ ශාඛාව තෙමේ ම බිඳී රන් කටාරමේ පිහිටාවා! යි අධිෂ්ඨාන කළේය. පිරිනිවන් මඤ්චකයේ වැඩසිටි තිලෝගුරු බුදුරජුන්ගේ අධිෂ්ඨානය පරිදිම බෝධීන් වහන්සේ ඍද්ධියෙන් ම සිඳී ගොස් රන් කටාරමේ පිහිටියාහුය. එකෙණෙහි ම මහ පොළොව කම්පා වී ගියේය. මහා බෝධීන් වහන්සේගෙන් සවණක් ඝන බුද්ධ රශ්මි මාලාවන් විහිදී ගියේය.

දෙවැනි සම්බුද්ධ අධිෂ්ඨානය පරිදි කටාරමත් සමග බෝධි ශාඛාව අහස් ගැබට වැඩම කොට හිම වළා අතර සැඟවී ගියේ ය. සත් දිනකට පසු හොඳින් මුල් ඇද කටාරමේ පිහිටි බෝධීන් වහන්සේ රශ්මි මාලා විහිදුවමින් දිස් වන්නට විය. ප්‍රීතියට පත් රජු දඹදිව් රාජ්‍යය ම බෝධීන් වහන්සේ උදෙසා පූජා කළේය. සරසන ලද නෞකාවකින් ගංගා නදිය දිගේ බෝධි ශාඛාව සත් දිනකින් දඹදිව තාම්‍රලිප්ත නම් තොටට පැමිණියේය. එහිදී කරවටක් ජලයේ බැස ධර්මාශෝක රජු බෝධීන් වහන්සේට ගෞරව උපහාර දැක්වූහ. ඒ ධර්මාශෝක නිරිඳාණන් විසින් දඹදිව් රාජ්‍යය තුන්වතාවක් ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා පූජා කළේය.

z_pic350 (2).jpg

 

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුලු මහ පිරිවර රැගත් නෞකාව ලක්දිවට පැමිණෙන අතරතුර දෙවියනුත් නාගයනුත් දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේට අපමණ පුද පූජා දැක්වූහ. මෙසේ දෙව් මිනිස් නාගයින්ගේ පුද පූජා ලබමින් උඳුවප් මස පුන් පොහෝ දිනයේ ඒ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ ලක්බිමට වැඩමකොට වදාළ සේක.
දෙවනපෑතිස් රජු ද කරවටක් මහ මුහුදේ බැස මහ බෝධීන් වහන්සේ සිරසින් පිළිගත්තේය. මහ පෙරහරින් වැඩම කරවූ ඒ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ දෙව් බඹුන්ගේත් මිනිසුන්ගේත් නාගයින්ගේත් සාදුකාර මධ්‍ය‍‍යේ මහ පොළව කම්පිත කරවමින් අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටියේය. දෙවනපෑතිස් රජුද මේ ලක්දෙරණ තුන් වතාවක් ම බෝධීන් වහන්සේ උදෙසා පුජා කළේය.

අප සම්බුදු රජාණන් වහන්සේ හට සෙවණ සළසාලූ දෙව්බඹුන්ගේ පූජෝපහාරයට පාත්‍ර වූ ඒ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

බෝධීන් වහන්සේ වැඩම කරවාගෙන මේ ලක්දිවට වැඩම කළ මහ රහත් සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිව කාන්තාවන් හට බුදුසසුනේ උතුම් වූ පැවිදි බව ලබා දුන් සේක. තවත් උදාර ශාසනික සේවාවන් ඉටු කරමින් මේ ලක් දෙරණේම වැඩ සිටි ඒ මහෝත්තම සංඝමිත්තා තෙරණින් වහන්සේ හත්ථාළ්හක මෙහෙණවරේදී පිරිනිවන් පා වදාළ සේක. ඒ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහනසේට ද අපගේ නමස්කාරය වේවා!

එමෙන්ම උඳුවප් පොහොය එළඹීමත් සමග සිරිපා වන්දනා සමය ද ආරම්භ වේ. උඳුවප් පොහොයේ සිට වෙසක් පොහොය තෙක් සැදැහැ සිතින් සිරිපා වන්දනා කරන බොහෝ පින්වතුන් අපමණ පින් ඵල රැස්කර ගනිති. ඒ සමනොළ ගිරි සිරසෙහි පිහිටි අප මුනි රජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ශ්‍රී පාදයට ද අපගේ නමස්කාරය වේවා!

B.jpg

මෙබඳු උදාර සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුන් පොහෝ දින ය තෙරුවන් සරණ ගිය ගිහි උපාසක උපාසිකාවන්ගේ උතුම් උපෝසථ දිනය යි. සැදැහැ සිතින් ආර්ය උපෝසථය සමාදන් වී ඔබත් මේ පුන් පොහෝ දිනයේ ජීවිතයට අග්‍ර වූ පින් ඵල රැස්කර ගන්න. රැස්කරන සියලු පින් අප සියලු දෙනා හට මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම හේතු වාසනා වෙත්වා!

උපුටා ගැනීම shraddha.lk වෙතින්.

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s