ඉල් පොහොයේ ශාසනික වැදගත්කම

කැලණිය විශ්වවිද්‍යාලයේ,නූතන භාෂා අංශයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අලුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති, ආචාර්ය, රාජකීය පණ්‌ඩිත,නැදලගමුවේ ධම්මදින්න හිමි……..

ශාසනික වශයෙන් බැලූවිට ඉතා වටිනා සිදුවීම් රැසක්‌ ඉල් පොහෝ දා සිදුවී තිබේ. ඒ අතර, මහ රහතන් වහන්සේලා සැට නමක්‌ ලොව මුල් වරට ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹීම, බුදුරදුන් තුන් බෑ ජටිලයින් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, සැරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් මගඵල ලැබීම හා උන්වහන්සේ මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම, මෙත් බෝසතුන් නියත විවරණ ලැබීම හා පසුවස්‌ පවාරණය කළයුතු දිනය එළඹීම මෙන්ම මෙය කඨින චීවර පූජාව සිදුකළ හැකි අවසන් දිනය වීම ආදී බොහෝ ආගමික වටිනාකම් ඇති දිනයක්‌ ලෙස ඉල් මස පුර පසළොස්‌වක දිනය හඳුන්වා දීමට පුළුවන.

උතුම් වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීමෙන් අනතුරුව, බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේදී පස්‌වග මහණුන් වහන්සේලා සමඟ මුල්වරට වස්‌ සමාදන් වූ අතර එම වස්‌ කාලයේදීම ප්‍රථම ධර්මදේශනාව පවත්වා උන්වහන්සේලාට රහත්වීමට මඟ පෙන්වා වදාළ සේක. තවද එම කාලය තුළදීම යසකුළ පුත්‍රයා ඇතුළු තවත් යහළුවන් පනස්‌ දෙනෙකු පැවිදි කරවා දහම් දෙසා උතුම් මහරහත් බවට පත්වීමට උන්වහන්සේ මග පෙන්නූ සේක.

සම්මා සම්බුද්ධත්වයේ වටිනාකම ලොවට පසක්‌ කර දෙමින් මෙලෙස මහරහතන් වහන්සේලා හැට නමක්‌ ලෝකයේ පහළ වූ සේක. වස්‌ අවසන් වූ පසු උන්වහන්සේලා ඇමතූ තථාගත සම්මා සම්බුදු රජාණන්වහන්සේ,

,චරථ භික්‌ඛවේ චාරිකං, බහුජන හිතාය,

බහුජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය,

හිතාය, සුඛාය දේව මනුස්‌සානං, යනුවෙන්

,මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, ලෝ වැසියන්ට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත, හිත හා සැප පිණිස චාරිකාවේ හැසිරෙන්න, යි වදාළ සේක. තවද එකම මඟක දෙනමක්‌ නොවඩින්නයි වදාළ උන්වහන්සේ වස්‌ පවාරණයෙන් පසු උදා වූ ඉල් පොහෝ දා එම රහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරය පිණිස පිටත් කර යවා තමන් වහන්සේ උරුවෙල් දනව්ව කරා වැඩම කළ සේක.

මෙකල උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසල විසූ උරුවෙල් කාශ්‍යප තාපසයාට පන්සියයක්‌ පිරිස ද, නදී කාශ්‍යප තාපසයාට තුන්සියයක්‌ පිරිස ද , ගයා කාශ්‍යප තාපසයාට දෙසියයක්‌ පිරිස ද වූහ. මේ සියලු දෙනා කල්පනා කළේ තමන් රහතන් වහන්සේලා කියාය. බුදුරදුන් පළමුකොට බලවත් කරුණාවෙන් උරුවෙල් කාශ්‍යප ඇතුළු පන්සියයක්‌ පිරිසට ප්‍රාතිහාර්ය දක්‌වා ඔවුන් පැවිදි කළ සේක. ඔවුන්ගේ තවුස්‌ පිරිකර ගඟෙහි පා කර හැරි අතර ඒවා දුටු නදී කාශ්‍යප සිය වැඩිමල් සොහොයුරාට අනතුරක්‌ යෑයි සිතා පැමිණි අවස්‌ථාවේ දී ඔවුන්ට ද දහම් දෙසීමෙන් ඒ පිරිස ද පැවිදි කළ සේක. ඔවුන්ගේ තවුස්‌ පිරිකර ද ගඟට දැමූ අතර ඒවා දුටු ගයා කාශ්‍යප ද සහෝදරයන් දැකීමට පැමිණි මොහොතේදී බුදුරජාණන් වහන්සේ දහම් දෙසා පැවිදි කරවූ සේක. ඉන් අතතුරුව එසේ ඉල් පොහෝ දා අරඹන ලද දහම් පණිවිඩය ගයා ශීර්ෂයේදී සැමට ලබා දුන් බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරිසාය සූත්‍රය දේශනා කොට ඒ සැමදෙනා වහන්සේම රහත් වීමට මග පෙන්වූ සේක.

ඉල් පොහෝදා සිදුවූ මෙම කාරණය ද ඉතාමත්ම වැදගත්ය. මෙය සැරියුත් මහරහතන් වහන්සේ පිළිබඳ සිද්ධියකි. සැරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දකුණත්සව් ලෙස වැඩ සිටි අතර ධර්ම සේනාධිපති වූයේ ද උන්වහන්සේ ය. තවද උන්වහන්සේගේ සහෝදර සහෝදරියන් වන චුන්ද, උපසේන, රේවත චාලා, උපචාලා සිසූපචාලා යන පිරිස ද පැවිදිව රහත්ව සිටිමුත් උන්වහන්සේගේ මෑණියන් ඒ වන විටත් සිටියේ මිථ්‍යා දෘෂ්ටිකවය. පෙර කරන ලද අකුසලකර්මයක්‌ නිසා මුගලන් මහරහතන් වහන්සේ කාලසිලා පර්වත විහාරයේ වැඩවසන සමයේ සොරුන් විසින් පහරදී පිරිනිවන් පෑවේ ඉල් මස අව පසළොස්‌වක පොහෝ දාය. සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ හරියටම  ඊට සති දෙකකට පෙර එනම් ඉල් මස පුර පසළොස්‌වක පොහෝදා ය.

z_pic350වරක්‌ සැරියුත් මහරහතන් වහන්සේ තම ආයු කාලය විමසා බැලු සේක්‌ තමන්ට තව ජීවත් වන්නට ඇත්තේ සතියක්‌ පමණක්‌ බව දැක, තම මව සම්‍යක්‌දෘෂ්ටික කොට නිවසේදී ම පිරිනිවන් පෑ යුතු බව දැක බුදුරජාණන් වහන්සේට වැඳ අවසර ගෙන විශාල භික්‌ෂූන් පිරිසක්‌ සමග නාලක ගමට වැඩම කොට මවට බණ දෙසා ඇය සෝවාන් ඵලයට පත් කොට එම නිවසේදී ම පිරිනිවන් පෑ සේක. මෙලෙස එම සිදුවීම වූයේ ඉල් මස පුර පසළොස්‌වක පොහෝ දා දිනක ය.

චුන්ද තෙරුන් වහන්සේ සැරියුත් හිමියන්ගේ පාත්‍ර, සිවුරු හා ධාතූන් වහන්සේලා ද රැගෙන ඡේතවනාරාමයට වැඩම කොට සියල්ල බුදුරදුන්ට පිළිගැන් වූ සේක. බුදුරදුන් සැරියුත් තෙරුන්ගේ ගුණ දෙසා ධාතු තැන්පත් කොට චෛත්‍යක්‌ කරවා රජගහ නුවරට වැඩි සේක.

ඉල් පොහෝදා මෛත්‍රී බෝධිසත්වයන් නියත විවරණ ලැබූ ආකාරය මෙසේය. සංකස්‌ස පුර සිරිවධ්ධ නම් වූ ධනවතෙකුගේ පුතෙකු ලෙස උපන් මෛත්‍රී බෝධිසත්වයෝ බුදුරජාණන් වහන්සේ වප් පොහෝ දින දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයට වැඩි මොහොතේ සැරියුත් තෙරුන් සමග කළ ධර්ම සාකච්ජාව අසා පැහැදී පැවිදි වූහ. ඉන් අනතුරුව උන්වහන්සේට ලැබුණු වටිනා වස්‌ත්‍ර යුගලක්‌ බුදුරදුන්ගේ ගඳකිළියෙහි එල්ලා මහත් පිනක්‌ සිදුකර ගත්හ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බෝධිසත්වයන්ගේ අභිප්‍රාය දැක භික්‌ෂු මධ්‍යයේ වැඩසිටි උන්වහන්සේ පෙන්වා,
img_6696
‘මහණෙනි, උතුම් වස්‌ත්‍ර යුගලකින් බුදුන් පිදූ මේ භික්‌ෂුව බලන්න. මේ භික්‌ෂුව මෙම මහා භද්‍ර කල්පයේදීම මෛත්‍රී නම් වූ සම්බුදුරදුන් වන්නේය. එකල බරණැස්‌ නුවර කේතුමතී රාජධානියේ සංඛ නම් සක්‌විති රජුගේ පුරෝහිත බමුණා වන සුබ්‍රහ්ම” මොහුගේ පියා වන අතර බ්‍රහ්මවතී මෑණියන් වන්නේ ය. බෝරුක වන්නේ නා ගසකි,. යෑයි වදාළ සේක. මෙලෙස මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඉල් මස පුරපසළොස්‌වක පොහෝ දවසක නියත විවරණ ලබා ගත්සේක.

බෞද්ධ පිනැතියන් කවුරුත් දන්නා ප§é කඨින පිංකම්වල අවසානය සිද්ධ වන්නේ ද ඉල් පොහොය දවසෙනි. වප් පුර පසළොස්‌වක පොහෝ දින ආරම්භ වන මෙම කඨින චීවර මාසය ඉල් මස පසළොස්‌වක පොහෝ දවසින් අවසන් වෙයි. කඨීන චීවර පූජාව සිද්ධ කළ හැක්‌කේ මේ කාලයේ පමණි. තව ද ඇසල පොහෝ දා වස්‌ සමාදන් වීමට නොහැකි උපසපන් භික්‌ෂූන් වහන්සේලා නිකිණි පොහොයෙන් පසුව පසු වස්‌ සමාදන් වූ විට වස්‌ පවාරණය කරන්නේ ද ඉල් මස පුරපසළොස්‌වක පොහෝදා ය.

මේ අනුව පැහැදිලි වන්නේ ඉල් මස පුරපසළොස්‌වක පොහෝ දින බෞද්ධ අපට කොතරම් නම් වැදගත් ද යන්නය. උතුම් වූ සදහම් රසය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුව වූයේ එදා ඉල් මස පුරපසළොස්‌වක පොහෝ දින මහරහතන් වහන්සේලා හැටඑක්‌ නමක්‌ විසින් ආරම්භ කළ ධර්ම ප්‍රචාරය යි. තව ද බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ එම රහතන් වහන්සේලා ලෝකානුකම්පාවෙන් යුක්‌ත ව සිද්ධ කරන ලද ඒ මහා සේවාවෙහි ප්‍රතිඵලය බවට පත් වූයේ සම්බුදු සසුනෙහි පැතිරීමයි. සැරියුත් – මුගලන් ආදී මහ රහත් උත්තමයන් වහන්සේලා ලොව පහල වීම මෙන්ම මෛත්‍රී බෝධි සත්වයන්ගේ නියත විවරණ ලැබීමත්, කෝටි ගණනක්‌ සත්වයන් දුකින් මිදීමත් සිද්ධ වූයේ මේ ආකාරයෙනි.

එපමණක්‌ නොව ලංකාවේ මුල්ම මහ රහතන් වහන්සේලා වන අරිට්‌ඨ තෙරණුවන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා මිහින්තලේ වස්‌ වැස පවාරණය කිරීමෙන් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ බුදුරදුන්ගේ ධාතු තැන්පත් කොට චෛත්‍යයක්‌ තැනීමේ යෝජනාව දෙවන පෑතිස්‌ රජුට කළ අතර එම යෝජනාව කරන ලද්දේ ද ඉල් මස පුර පසළොස්‌වක පොහෝ දිනයකදී ය. එහි ප්‍රතිඵල ලෙස සුමන සාමණේරයන් වහන්සේ ධාතූන් වහන්සේලා වැඩමවීම පිණිස දඹදිවට වැඩි අතර බුදුරදුන්ගේ අකු ධාතුව ප්‍රමුඛ ධාතූන් වහන්සේලා මහත් ප්‍රමාණයක්‌ මෙරටට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ එම යෝජනාව නිසා ය.

ලංකාවේ බුදු සසුන පිහිටීමෙන් පසු සාදන ලද මුල්ම චෛත්‍යය ලෙස ථූපාරාමය තනවා එහි මෙම අකුධාතූන් වහන්සේ තැන්පත් කරන ලදී.
z_pic350-tem
මෙ ලෙස ලංකාවේ ගලක්‌ ගලක්‌ පාසා වන සෙනසුනක්‌ ද, වැවක්‌ වැවක්‌ පාසා සෑයක්‌ ද ඉදිකිරීමේ උතුම් සැනසීමේ මග බිහි විය. එම උතුම් නිවන් මග මැනවින් ප්‍රකටව පවතින මෙකල වර්තමාන බෞද්ධයන් වන අප කවුරුත් කළ යුතු වන්නේ ඒ උතුම් සදහම් නදියෙන් සදහම් නැමැති පැන් වළඳා නිවන් පිපාසය නිවා ගැනීම යි. බුදුරජාණන් වහන්සේ එදා ඉල් පොහෝ දා දෙසා වදාළ පරිදි ආරම්භ වූ ධර්ම යාත්‍රාව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ද පදවාගෙන එන ලද සේක. ඒ සැනසීමේ මාර්ගය ගලේ කෙටූ අකුරු සේ පොත් වල ලියවීමෙන් පසු අද දක්‌වා ම මැනවින් සුරැකී ඇත. බෞද්ධ වතට පිළිවෙතට යොමු වූ අප කවුරුත් කළයුතු වන්නේ හැකිතාක්‌ ඉක්‌මනින් ඒ සදහම් මග අනුගමනය කිරීමයි. සසර කතරින් එතෙර වන්නට ඒ මහරහත් දෙසුමන් ඔබ, මට සැමට එකසේ හේතු වේවා·


ඉහත දැක්වූ කරුණු කෙටියෙන් :-

01) සම්බුද්ධ ශාසනයේ හි ප්‍රථම ධර්ම දූත හැට නම ධර්ම ප්‍රචාරයේ යෙදවියේ මෙම ඉල්  පුන් පොහොය දිනයේදීය. මෙම ධර්ම දූත හැටනමේ මූලිකත්වය දරා ඇත්තේ “අඤ්ඤාකොණ්ඩඤ්ඤ” මහ රහතන් වහන්සේ ඇතුළු “පස්වග” ශ්‍රාවකයන්ය.

02) “තුන් බෑ ජටිලයන්” දමනය කිරීම සඳහා අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ “උරුවෙල් දනව්ව” කරා වැඩමවීම.

03) අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ අගසව් “සැරියුත්” මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනින් වපෑම.

04) “පසුවස්” පවාරණය හා කඨින චීවරය පූජා කළහැකි අවසන් දිනය යන ශාසනික කරුණු කාරනා හේතු කොටගෙන මෙම ඉල් පොහොය දිනය මුළු මහත් ලෝක වාසී බෞද්ධයින් හට වැදගත් වේ.

05) මතු බුදුවන “මෛත්‍රී” බෝධි සත්වයන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ වෙත විත් පැවදි වූයේ ඉල් පුර පසලොස්වක පොහොය දිනයකදීය.

06) ලංකාවේ බුදු සසුන පිහිටුවීමෙන් පසුව ගොඩනංවන ලද මුල් සෑය වූ ථූපාරාමයෙහි නිධන් කිරීම පිණිස සුමණ සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට බුදුරාජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව සමග ධර්මාශෝක නිරිඳුන් පරිත්‍යාග කරන ලද පාත්‍රයක්‌ පමණ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රථම වරට ලංකාවට වැඩම කරවන ලද්දේ ඉල් පුර පසළොස්‌වක පොහෝදාය.


41rgka0_h5l__30988-1372478984-1280-1280

source :- තුලාව , දිවයින , කර්ම  

srilanka_flag

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s