සංකස්සපුරාවරෝහණය හා බුදුදහමේ සුවිශේෂතා සිදු වූ වප් පුර පොහොය

සංකස්සපුරාවරෝහණය

බුද්ධත්වයෙන් සත්වෙනි වර්ෂයේ දී වස් සමාදන් වී වස්විසීම සඳහා බුදුරජුන් වැඩම කළේ තව්තිසා දිව්‍ය ලෝකයටය. උන්වහන්සේ “යථාවාදී තථාකාරි” ගුණයෙන් යුත් උතුමෙකි. (යම් දෙයක් කියන්නේ නම් තමන්ද එම ක්‍රියාව කොට පෙන්වීම) ලෝකයාට කෘතගුණ සලකන්න යැයි අනුශාසනා කළ උන්වහන්සේ බුද්ධත්වයෙන් දෙවන සතියේදී ම තමන්ට බුදුවීමට සෙවන දුන් බෝධි වෘක්ෂය දිහා නෙත් නොසලා බලා සිටිමින් කලගුණ සැලකීම සිදු කළහ. එසේම මවට, පියාට සැලකීම උතුම් ගුණයක් යැයි දේශනා කළ බුදුරජුන් තමාගේ මෑණියන් වූ මහාමායා දේවිය හෙවත් මාතෘ දිව්‍ය පුත්‍රයාට සැලකීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩිසේක. එහිදී තුන්මාසයක් ශක්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වැඩසිට අභිධර්මය දේශනා කොට මාතෘදිව්‍ය පුත්‍රයා සෝවාන් ඵලයෙහි පිහිට වු සේක. වස් තුන්මාසය අවසන් වීමට පෙර බුදුරජුන් දැක බලා ගැනීම සඳහා සිටි පිරිස්” කවදා බුදුරජුන් වඩින්නේ දැයි” නො ඉවසිල්ලෙන් සිටියහ. මේ බව දත් මුගලන් තෙරුන් ඍද්ධී බලයෙන් දෙව්ලොවට ගොස් මේ පුවත බුදුරජුන්ට සැලකළ අවස්ථාවේ දින හතකින් උදාවන වප් පුර පසළොස්වක පොහොය දිනයේ සංකස්ස නුවරට වඩින බව දැන්වීය. කරුණු දැනගත් ශක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය ලෝකයේ සිට මනුස්ස ලෝකයට වැඩම වීම සඳහා සත්රුවණින් යුත් දිව්‍යමය වූ ඉණිමඟක් නිර්මාණය කළේය. ඒ අනුව වප් පුර පසළොස්වක පොහොය දිනයේ බුදුරජුන් දිව්‍ය ලෝකයේ සිට භාරතයේ සංකස්ස නුවරට වැඩම කිරීම සිදුවිය. එම අවස්ථාවට රහතන් වහන්සේලා මෙන්ම බොහෝ පිරිස්ද සහභාගී වූහ. දිව්‍ය ලෝකයේ සිටි දෙවිවරු දිව්‍යමය බෙර වැයූහ. ඒ අනුව බුදුරජුන්ගේ දේවාවරෝහණය හෙවත් දිව්‍ය ලෝකයේ සිට වැඩමවීම සිදු වූයේ වප්පුර පසළොස්වක් පොහොය දිනයකදීය.

z_pic350-fea

මෛත්‍රී බෝසතුන්ගේ පැවිදිවීම

මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු පස් දෙනෙක් පහළ වෙති. දැන් පවතින්නේ ගෞතම සම්බුදුන් වහන්සේ පහළ වූ යුගයයි. උන්වහන්සේගේ ධර්මය තව බොහෝ කාලයක් පවතිනු ඇත. ඉන්පසු නැවතත් බුදු කෙනෙකුගේ පහළවීම සිදු වේ. දැනට කකුසඳ, කෝනාගම, කාශ්‍යප හා ගෞතම වශයෙන් බුදුවරු හතර නමක් පහළ වී ඇත. අනාගතයෙහි ලොව පහළවන්නේ මෛත්‍රී බුදුරජුන්ය උන්වහන්සේ ඒ සඳහා පාරමිතා පූරණය කරමින් සංසාරයේ නොයෙක් භවවල උප්පත්තිය ලබති. ගෞතම බුද්ධශාසනයේ පෙරුම් දම් පූරණය කරන්නා වූ උන්වහන්සේගේ පැවිද්ද සිදුවූයේද බුදුරජුන් හා සැරියුත් මහ රහතන් වහන්සේ සමඟ ඇති වූ ප්‍රශ්න විස්සර්ජනයක් අසාය. මෙයද සිදු වූයේ වප් පුර පසළොස්වක් පොහෝය දිනයකදීය.

උපසපන් භික්ෂූන් වස් පවාරණය කිරීම

ඇසළ පුර පොහොය දිනයේ වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා තුන් මාසයක් වස් වසා මහා පවාරණය කරන්නේ අදවන් පොහොය දිනයකදීය. සෑම වර්ෂයකදීම ශක්‍ර දේවේන්ද්‍රයා මනු ලොව බලන දිනයක් ලෙසද මේ දිනය හඳුන්වා දිය හැකිය. වස් කඩ නොකොට වස් ආරක්ෂා කළ භික්ෂූන් කවුරුන් ද? යන්න සොයා බැලීම එහි අරමුණය. ‘අනුජානාමි භික්ඛවෙ වස්සානේ වස්සං උපගන්තුං” වශයෙන් බුදුරජුන් අනුදැන වදාළේ ඇසළ, නිකිණි, බිනර හා වප් සාර මාසය වැසි සහිත බැවින් එම කාලයේ බණ භාවනාදී කටයුතු සිදු කරමින් වැඩ සිටින ලෙසය. ඇසළ මාසයේ අව පෑලවිය දිනයේ වස් සමාදන් වූ භික්ෂුන් වහන්සේලා සිහිකල්පනාවෙන් යුක්තව (සතිකරණයෙන්) වස් ආරක්ෂා කිරීම සිදුකරති. දෙමාපියන් ලෙඩවීම, මහාසංඝයාගේ කැඳවීම ආදි අතිශය භාරදූර කාර්යයන් සඳහා වස් වසන ස්ථානයෙන් බැහැර වී අන්තරායක් නොවුණහොත් සත්වෙනි දින එළිය වැටෙන්නට පෙර එනම් සයවෙනි දිනයෙහි වස් වසන තැනට පැමිණිය යුතුය. එහිදී සිහිකළයුතු වන්නේ “ඉදින් මට අන්තරායක් නොවුණහොත් සත්දිනක් ඇතුළත නැවත පැමිණෙන්නෙමි” යන්නයි. (සචෙ මෙ අන්තරායො න භවෙය්‍ය සත්තාහබ්‍යන්තරෙ පටිනිවත්තයිස්සාමි)

කඨින චීවර පූජා ආරම්භ වීම

මෙසේ වස් ආරක්ෂා කරන භික්ෂුවට කඨින චීවරයක් පිළිගැනීමට හැකිය. මීට ද හේතුවක් විය. වස් තුන්මාසයේ භාවනාදී කටයුතුවල නිරත වු භික්ෂුන් වහන්සේලා බුදුරජුන් හමුවට පැමිණෙන අවස්ථාවේ මහ වැස්සකට හසු වී තමන් හැඳගෙන සිටි සිවුරු තෙමුන නිසා අතරේ සිවුරක් පිළිගැනීම සුදුසු යැයි අනුදැන වදාළහ. (අනුජානාමි භික්ඛවෙ වස්සං උපගන්තානං භික්ඛූනං කඨිනං අත්තරිතුං) එතැන් පටන් ගිහි පැවිදි දෙපාර්ශ්වයට අයත් ලොකු, කුඩා. තරුණ, මහලු සියලු දෙනාම එක් වී මෙම උතුම් පින්කම සිදු කරති. ගිහි පැවිදි දෙපාර්ශ්වයට මෙයින් පින් රැස්කළ හැකිය. වප් මාසයේ අව පෑලවිය දිනයේ සිට ඉල් පොහොය දක්වා කාලයේ එම කඨින සිවුරු පූජාව සිදු කරනු ලබයි. අතීතයේ සිටි මහරජවරුන් අතරින් හයවන පරාක්‍රමබාහු රජු මෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ යන රජවරු කඨින චීවර පූජාව මහත් උත්කර්ෂවත් අයුරින් සිදු කොට ඇත. අටමහ කුසලයන්ගෙන් පළමු පින්කම වන මෙය ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින්ම මහත් ඕනෑකමින් සිදුකරගෙන එනු ලබයි.

ශ්‍රී මහා බෝධිය වැඩමවීම සංවිධානය කිරීම

මිහිඳු මාහිමියන් ලක්දිවට බුදුදහම රැගෙන ඒමෙන් පසු බුදුරජුන්ගේ පාරිභෝගික වස්තුවක් වූ ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවීම සඳහා සංවිධාන කටයුතු සිදුවූයේද මෙවන් පොහොය දිනයකදීය. මිහිඳු මා හිමියන් ලක්දිවට වැඩමවීමට පෙර ලක්දිව පැවතියේ වෘක්ෂ වන්දනාව, පර්වත වන්දනාව, දේව වන්දනාව, නාග වන්දනාව, ගිනි දෙවියා පිදීම, මළවුන් පිදීම ආදියයි. වෘක්ෂ වන්දනාවට යොමු වූ අයට වන්දනා කිරීම සඳහා බෝධි වෘක්ෂය වැඩම කරවීම සුදුසු යැයි උන්වහන්සේගේ අදහස විය. ඒ අනුව මිහිඳු හිමියන්ගේ අනුශාසනා පරිදි අරිට්ඨ නම් රජකුමරුවා රාජ සන්දේශයක් සහිතව දඹදිවට යෑම සඳහා පිටත් වූයේ අදවන් දිනයකදීය.

ලක්දිව පැවති විනය සංගායනාව

මිහිදු මාහිමියන්ගේ මූලිකත්වයෙන් ලක්දිව බුදුසසුන පිහිටුවීම සිදු වුවත් ලක්දිවදී පැවිදි වූ කෙනෙක් සංගායනාවක් පවත්වා මේ ධර්මය ලක්දිව තුළ පිහිටුවිය යුතු බව උන්වහන්සේගේ අදහස විය. ඒ අනුව ලක්දිව ප්‍රථමයෙන් පැවිදි වූ අරිට්ඨ තෙරුන් විසින් විනය සංගායනාව පැවැත්වීම සිදු වූයේද අදවන් දිනයකදීය. මෙය ද ලක්දිව ශාසන ඉතිහාසයේ දක්නට ලැබෙන සුවිශේෂී සිදුවීමක් ලෙස පෙන්වා දිය හැකිය.

වප් මඟුල් උත්සවය

ඉන්දියාවේ රාජ්‍ය පාලනය ගෙන ගිය රජුගේ මූලිකත්වයෙන් සෑම වර්ෂයකම සී සෑමේ වප් මඟුල් උත්සවය පැවැත්වීම ද තවත් සුවිශේෂි කාරණයකි. සිද්ධාර්ථ කුමාරයා කිඹුල්වත් නුවර පාලකයා වූ සුද්ධෝදන පිය රජතුමා ද සමඟ සී සෑමේ උත්සවයට සහභාගි වූ බව බෞද්ධ ඉතිහාසගත තොරතුරුවලින් පැහැදිලි වේ. මෙදින කුඩා සිද්ධාර්ථ කුමාරයා ගසක් මුල හිඳගෙන සංසාරයේ පෙර පැවති පුරුද්දක් මත ආනාපානසති භාවනාව වඩමින් සිටි බවත් ඒ දුටු සුද්ධෝදන රජු පුතුට වැඳ නමස්කාර කළ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ඒ අනුව වප් මඟුල උත්සවශ්‍රීයෙන් පවත්වන පොහොය දිනය ද අද දිනයයි.

මේ අයුරින් සම්බුද්ධ ශාසනය තුළ සිදු වූ නොයෙක් සිදුවීම් සිහිකරමින් බෞද්ධ ජනතාව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආමිස පූජා ද පවත්වමින් ආගමානුකූල දිවි පෙවතක් ගත කරති. එවැනි උතුම් පුර පොහෝ දිනයක් ලෙස මේ දිනය හඳුන්වා දිය හැකිය.

2

z_ven-welivitasoratha

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s