අද නිකිණි පුන් පොහෝ දා

ගුණ දහම් පුරණ වස්සාන සමය

මනුෂ්‍ය ජීවිතයක වටිනාකම රඳා පවතිනුයේ එම ජීවිතය අර්ථවත්ව ගත කිරීමෙන් පමණි. දුක මත පිහිටි ලෝකය තුළ ඉතා දුර්ලභව ලබා ගත් ජීවිතය ගත කිරීමට බුද්ධිමත්බවද අත්‍යාවශ්‍යය. පෙර කළ පුණ්‍ය මහිමයේම බලයෙන් ලබා ගත් මිනිස් ජීවිතය කෙතරම් වටින්නේදැයි මොහොතක් පාසා සිතා බැලීම බුද්ධිමත් මනුෂ්‍යයාගේ සිරිතය. උපන් නිසා ජීවත්වීමට පමණක් නොව ජීවත් වන කාලය පුරා ජීවිතය ගැන අවබෝධයෙන් කටයුතු කිරීමෙන් ජීවිතයේ අඩුපාඩු අවම කරගත හැකිවේ.

දස මසක් මව්කුස ගෙවා මෙලොව ට බිහිවූදා පටන් ජීවිතාන්තය දක්වා මනුෂ්‍යයා කර්ම රැස් කරනු ලැබේ. එසේ රැස් කරන කර්ම කුසල් සහ අකුසල් යැයි හඳුන්වමු. අකුසලය රැස් කිරීම පහසුය. ඒ අකුසලය දුරුකිරීම අපහසුය. කුසල්, අකුසල් දෙකටම මූලික වන්නේ හොඳ , නරක ක්‍රියාවන්ය. එසේ හොඳ, නරක හෙවත් යහපත,අයහපත සිදුකිරීමට සිත මුල්වෙයි. ස්වකීය සිත මගින් සිතන සිතිවිල්ලක් ක්‍රියාවට නැගීමෙන් කර්ම රැස් කරනු ලැබේ. ඇතැම්විට නරක අයපත් සිතිවිල්ලක් සිතෙහි ඇති වීමෙන් හෙවත් හටගැනීමෙන් එය ක්‍රියාවට නංවන මොහොතේදී එය දුකට වේදනාවට ඉවහල් වන්නක් බව නොසිතයි. එබඳු චේතනාවන් ක්‍රියාවට නැංවීමෙන් මහත් අයහපතක් තමා විසින් තමාටම කරගනු ලැබේ. එහෙත් එබඳු පවිටු අදහසක් සිතට ගලා ආ විට එහි ඵලවිපාක තෝරා බේරා නොගැනීම නිසා ජීවිත කාලයේදී හෝ මතු භවයකදී තමන්ට අත්වන අයහපත් ඉරණම ගැන මොහොතකටවත් සිතා නොබලයි. සිතකට අයහපත් සිතිවිලි ගලා ඒම සාමාන්‍ය ස්වභාවය වේ. මනුෂ්‍යයා බුද්ධිමත් විය යුත්තේ එම ස්වභාවය තේරුම් ගැනීමටය. එමෙන්ම එම ස්වභාවය තේරුම් ගෙන වරදින්, අයහපතෙන්, පාපයෙන් ඈත්වීමටය.

දුක, සැප, දෙක තමා පසුපසම ලුහු බඳී.දුකට, අයහපතට කිසිවකුත් කැමැති නොවේ. එහෙත් අකැමැත්තෙන් වුවද දුක විඳීමට සිදුවනුයේ තමාම කළ හොඳ, නරක දෙක අනුවය. තමා කළ කී දේ නිසාම කර්ම රැස් කරනු ලැබේ.

නූපන් කුසල් උපදවා ගැනීමටත් උපන් අකුසල් දුරු කර ගැනීමටත් හැම විට උත්සාහ කළ යුතුය. මනුෂ්‍යයෙකු වුවද, දෙවියෙකු වුවද පින් අවශ්‍යය. පින, පව හෙවත් කුසල් , අකුසල් ගැන විශ්වාසය තිබිය යුතුය. එහි ඵල විපාක ගැන නිතර මෙනෙහි කළ යුතුය.

ජීවිත කාලය පුරා කවරදාක හෝ තමා නැවත හැරී බලා සතුටු විය හැකි ජීවිතයක් ගත කිරීමෙන් මෙලොව සහ පරලොව යන දෙලොවම සතුටු විය හැකිය. එසේ ලබන සතුට මුදලට හෝ වෙනත් මගකින් ලබාගත හැකි නොවේ. තමාට තමා ගැන සතුටු විය හැකි ජීවිතයක් නම් කෙතරම් වටිනා කමක් එබඳු ජීවිතයකට ඇතිවන්නේද? එබඳු ජීවිතයක් ගත කිරීමට කුඩා කල පටන් හුරු පුරුදු විය යුතුය.

පින් දහම්හි නිරතවීම පසුවට කල් දැමිය යුත්තක් නොවේ. අද නොව හෙට පින්කම් කළ යුතුයැයි නොසිතිය යුතුය. ජීවිතය අස්ථීරය, අස්ථිර ලොවක උපත ලබා වෙසෙන කෙටි කාලය තුළදී සසර ගමන සුවපත් කර ගැනීමටම වෙහෙසිය යුතුය.

පිනේ දහමෙහි නිරතවන්නාට කාලභේදයක්ද නැත. පින් කරන්නාට සෑම දිනක්ම පුණ්‍ය කාලයක් බඳුය.එහෙත් අප බොහෝ දෙනාගේ පහසුව සඳහා පින්කම් ඒකරාශිව පැවැත්වීමට දින වකවානු වෙන්කර එය මනා ලෙස සංවිධානය කර ගනු ලැබේ. කවර ක්‍රියාවක් වුවද මනා ලෙස සංවිධානය කර සිදු කිරීමද අගය කළ යුත්තකි. දුටුවන්ගේ ප්‍රසාදය දනවන ආගමික කටයුතු විශේෂයෙන් සංවිධානය කළ හැකි සුවිශේෂ කාලයක් දැන් උදාවී ඇත. එනම් වස්සාන සමයයි. වස්සාන සමය පුරා ගිහි, පැවිදි උභය සමාජයම ආධ්‍යාත්මික සුවය සඳහා ගුණ දහම් පුරන්නට වෙහෙස මහන්සිවන කාලයකි.

budu-mainhead

ඇසළ පෙරහර ආරම්භය හා විකාශය

අති උතුම් දළදා වහන්සේ යනු ලාංකික බෞද්ධයන් විසින් පමණක් නොව ලෝකවාසී බෞද්ධයින් විසින් මහත් හරසරින් පිළිගන්නා වූ පරම පූජනීය වස්තුවයි. එමනිසා දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසත් වැඩසිටින මාළිගය ගන්ධකුටිය ලෙසත් අතිශයින් සම්භාවනාවට පාත්‍ර වේ.

දළදා වහන්සේ වෙත පැමිණ වන්දනාමාන සිදු කිරීමත් පුද පූජා පැවැත්වීමත් තම තමන්ගේ ජීවිතයේ අනුස්මරණීය අවස්ථාවක් ලෙස බෞද්ධයෝ සලකති. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් කලක් ගියපසු ආමිස පුදපූජා පැවැත්වීම බෞද්ධයන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. බුදුරජුන් පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ශාරීරික ධාතු කොටස්වලට අයිතිවාසිකම් කියන්නට බොහෝ දෙනෙක් අරගල කළ බව මහාපරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. මගධ, විසාලා, කපිලවස්තු, අල්ලකප්ප, රාමගාම, පාවා, කුසිනාරා යන රජවරුන් අතර හා වේඨදීපක බමුණා අතර සමයේ බෙදී ගියේ ය. ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා බෙදීමට ගත් භාජනය ද පසුව පැමිණි මෞර්ය වංශිකයෝ රැගෙන ගියහ. එම ධාතු තැන්පත් කොට ඒ ඒ තැන්වල ස්තූප ඉදිකෙරිණ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ධාතු කොටස් හතකි. සතර දළදාව, ලලාට ධාතුව, අකු ධාතු හා ගී‍්‍රවා ධාතුව වශයෙනි. එයින් සතර දළදා වහන්සේගෙන් එක් දාඨාවක් තාවතිංසයෙහිද එක ධාතුන්වහන්සේ ගන්ධාර දේශයේ ද තවත් ධාතුන් වහන්සේ නමක් කාලිංග දේශයේ ද අනෙක් ධාතුන්වහන්සේ නා ලොව ද පිහිටි අතර අනෙක් දන්තධාතුන් තිස්හය ද, කේස ධාතුන් හා ලෝම ධාතුන් එක එක බැගින් දෙවියෝ ගෙන ගිය බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ.

ලක්දිව ලියවී ඇති දළදා සිරිත, දාඨාවංස, දළදා පූජාවලිය ආදී ධාතුවංසකතාවන්හි සඳහන් අන්දමට ඉහතින් සඳහන් කළ සතර දළදාවන්ගෙන් දෙකක්ම වර්තමානය වනවිට පිහිටා තිබෙන්නේ ලංකාද්වීපයෙහිය. නාලොව තිබූ දකුණු දළදා වහන්සේ කාවන්තිස්ස රජුගේ කාලයෙහි මහාදේව තෙරුන්ගේ ශිෂ්‍ය මිහිඳු නම් තෙර කෙනෙකුන් විසින් නාග භවනයෙන් ගෙනවුත් ගිරි අබා රජු විසින් තම මෙහෙසියගේ නමින් කරවන ලද සෝමවතී චෛත්‍ය රාජයාණන් තුළ තැන්පත් කර ඇත. මහනුවර දළදා මාළිගාවෙහි තැන්පත්ව ඇත්තේ ලක්දිව අනික් දළදා වහන්සේයි. මුලදී කාලිංග දේශයේ තැන්පත් කර තිබූ මෙම වම් සිරි දළදා වහන්සේ ගුහසීව රජ්ජුරුවන් හා පඬි රජු අතර ඇති වූ යුද්ධයේ දී දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් හේමමාලා හා දන්තකුමරුට භාර දී ඇත. ඒ දෙදෙනා විසින් 4 වන සියවසේ එනම් ක්‍රි.ව. 310 දී ලක්දිව රජකළ සිරිමේඝවර්ණ රජුගේ කාලයේ ලක්දිවට වැඩමවන ලදී. ලක්දිවට වැඩම කළ දා පටන් දළදා වහන්සේ උදෙසා විවිධ පුද පූජා පැවැත්වූ අතර දළදා පෙරහර ද ආරම්භ කොට එය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා චාරිත්‍ර ලේඛනයක් ද පිහිටුවා ඇත. එම චාරිත්‍ර ප්‍රකාරව පසුකාලවල සිටි රජවරු දළදා පෙරහර පවත්වා ඇත. එපමණක් නොව මෙය ලක්දිව වාර්ෂික රාජකීය උත්සවයක් බවට ද පත් කර ඇත. පස්වෙනි සියවසේ ලක්දිවට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂූන් වහන්සේ තමන් වහන්සේගේ දේශාටන වාර්තාවන්හි සියසින් දුටු දළදා පෙරහර පිළිබඳ දීර්ඝ විස්තරයක් කර ඇත.

අනුරාධපුර යුගයේ පටන් පැවති දළදා පෙරහර වරින් වර ඇති වූ ආක්‍රමණ කාලවලදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට නොහැකි වුවත් අනෙකුත් සමයන්හි දී දළදා වහන්සේ උදෙසා දර්ශනීය මාලිගා කරවා පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, යාපහුව ආදී යුගවල සිටි රජවරු හා භික්ෂූන් වහන්සේලා අඛණ්ඩව දළදා පෙරහර පවත්වා ඇති බව මූලාශ්‍ර ග්‍රන්ථයන්හි සඳහන් වේ. මෙසේ රාජධානියෙන් රාජධානියට වැඩම කළ දළදා වහන්සේ අන්තිමට වැඩම කරවන ලද්දේ මහනුවර රාජධානියටයි. ක්‍රි.ව. 1590 දී කොනප්පු බණ්ඩාර කන්ද උඩරට රාජ්‍යය පෘතුගීසීන්ගේ අනුග්‍රහය ඇතිව සිටි දොන් පිලිප් තෙමේ මරා විමලධර්මසූර්ය යනුවෙන් රජවිය. දෙල්ගමු රජමහ විහාරයේ කුරක්කන් ගලක සඟවා තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩමවා මුලින් දෙමහල් ප්‍රාසාදයක් හා නැවත තෙමහල් ප්‍රාසාදයක් බවට පත්කොට දළදා වහන්සේ එහි ස්ථාපනය කරන ලදී. අද දක්වාම ප්‍රතිසංස්කරණය වෙමින් පවත්නේ එම දළදා මන්දිරයයි.

කෝට්ටේ රාජධානි සමයේ ආරම්භ වූ විදේශීය ආක්‍රමණ සිංහල රාජාවලිය අවසන් වන තෙක්ම පැවතුණි. පෘතුගීසි, ඕලන්ද හා ඉංගී‍්‍රසි ආක්‍රමණිකයන් විසින් රාජ්‍ය සංස්ථාව තුළ දළදා වහන්සේ සතුව පැවති බලපෑම අවබෝධ කරගෙන දළදා වහන්සේ පැහැර ගැනීමට හා විනාශ කිරීමට විවිධ උපක්‍රම යොදන ලදී. රාජ්‍ය උරුමය අපේක්ෂා කළ ඇතැම් රජවරුද දළදා වහන්සේ පැහැර ගැනීමට මාන බැලූහ.

මේ හේතු නිසා කෝට්ටේ රාජධානි සමයේ සිට සිංහල රාජාවලිය අවසානය තෙක් දළදා වහන්සේ උදෙසා පැවැත්වූ පූජා චාරිත්‍ර, ප්‍රදර්ශන හා පෙරහර ප්‍රසිද්ධියේ සිදු නොවූහ. එහෙත් ඒ ඒ කාලවල දී සැදැහැවත් රජවරු හා භික්ෂූන් වහන්සේලා රහසිගතව අවශ්‍ය කරන සියලු පූජාවන් පැවැත්වූහ. ක්‍රි.ව. 1818 දී දළදා පෙරහර නැවැත් වූ බව සඳහන් වුවත් මූලාශ්‍රාගත තොරතුරුවලට අනුව මාළිගා අභ්‍යන්තරය තුළ ඒ සියලු පූජා විධීන් හා පෙරහර ආදිය සිදුකළ බව වාර්තා වේ. එබැවින් දළදා වහන්සේ උදෙසා පැවැත්වූ පූජා චාරිත්‍ර හා පෙරහර අඛණ්ඩව සිදුකළ බව කිව හැකිය. ක්‍රි.ව. 1818 දී දළදා පෙරහර වීදි සංචාරය කිරීම තහනම් වූ අතර 1928 දී රැස් වූ ඉංගී‍්‍රසි පාලකයින් හා නිළමේවරුන්ගේ එකඟත්වයෙන් නැවත පෙරහර වීදි සංචාරය කරන්නට අවශ්‍ය කටයුතු යෙදීය.

දළදා වහන්සේ වැඩම කළ දිනයේ පටන් රාජ්‍යයේ රැකවරණ හා බහුමාන සිදුකරමින් රාජ්‍යයේ සංකේතය බවට පත් වූ දළදා වහන්සේගේ භාරකාරත්වය වෙනත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ භාරකාරත්වයට නිල වශයෙන් ලැබුණේ ඉංගී‍්‍රසි ආණ්ඩු සමයේ දී ය. එවකට ලංකා රාජ්‍යයේ සිටි වික්ටෝරියා රැජින විසින් මල්වතු අස්ගිරි හා දියවඩන නිලමේතුමන් වෙත භාරකාරත්වය පැවරූ බව සඳහන් වේ. එවක පටන් වර්තමානය දක්වා දළදා වහන්සේ උදෙසා පවත්වන දෛනිකව පැවතෙන අලුයම තේවාව, නව පෑ තේවාව හා සන්ධ්‍යා තේවාව හා සතිපතා පැවැත්වෙන නානුමුර මංගල්‍යයට අමතරව පැවැත්වෙන ප්‍රධාන මංගල්‍යයන් සතරකි. එනම්,

1. අලුත් සහල් මංගල්‍යය

2. අවුරුදු මංගල්‍යය

3. කාර්තික මංගල්‍යය

4. පෙරහර මංගල්‍යය වශයෙනි.

ඇසළ පෙරහර ආරම්භ වූයේ ලාංකික ජනයාගෙන් වැඳුම් පිදුම් ලබන නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දෙවිවරුන්ට පුද පූජා පවත්වා දේව ප්‍රසාදයත් සුව සලසා ගැනීමත් සමෘද්ධිය ළඟා කර ගැනීමත් පරමාර්ථ කරගෙන මහනුවර, දෙවුන්දර, අලුත්නුවර, නවගමුව, රත්නපුරය, කතරගම ආදී නගර කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන වාර්ෂික උත්සවයකි. දළදා මාළිගාව කේන්ද්‍රකරගෙන පැවැත්වෙන පෙරහර වර්ග කිහිපයකි. වෙසක්, පොසොන් පොහෝ දිනයන්හි පැවැත්වෙන මාළිගාවේ පෙරහරත්, මල්වතු අස්ගිරිය උභය මහාවිහාර කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන උපසම්පදා මංගල්‍යයන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහර පහත් ඇසළ මාසයේ පැවැත්වෙන ඇසළ පෙරහරත් මීට අයත් වේ.

ඇසළ පෙරහරේ ආරම්භය පිළිබඳ විවිධ මතවාද පවතී. ලක්දිවට විජය ඇතුළු ආර්යයන්ගේ පැමිණීම සිදු වූ මොහොතේ ඔවුන් විසින් එකල දඹදිව පැවති ආෂාඪ නමින් හැඳින්වෙන උත්සවය ලක්දිවදී ද ආරම්භ කරන ලදී. පාලි භාෂාවෙන් ආසාඪ යනු ඇසළ මාසය හැඳින්වීම සඳහා යොදන වචනයයි. එබැවින් මෙය ඇසළ මාසය පදනම් කරගෙන පවත්වන ලදී. එසේම පුරාතනයෙහි පැවති සුරා සුර යුද්ධයේ දී සුරයන් විසින් අසුරයන් පරාජය කරන ලද්දේ ඇසළ මාසයේ අමාවක දිනයේදීය. ඒ අනුව අමාවක දිනයෙන් කප් සිටුවීම ආරම්භ කොට පසළොස්වක දිනයෙන් අවසන් වන පෙරහර සුරයන්ගේ එම ජයග්‍රහණය සිහි කරනු වස් පවත්වන බව තවත් මතයකි. වංකනාසික රජුගේ කාලයේ සොලීන් මෙරට පැමිණ සිරකරුවන් 12000ක්, පාත්‍ර ධාතුව සිව් දේවාලයන්ගෙන් රැගෙන ගිය රන් ආභරණ, පත්තිනි දෙවියන්ගේ රන් සලඹ ද රැගෙන ගිය බව ඇසූ ගජබා රජු ඉන්දියාවට ගොස් එහි ලක්දිව සිරකරුවන් ද ඉන්දියන් සිරකරුවන් 24000ක්ද අනෙකුත් සියලු භාණ්ඩ ද රැගෙන ලංකාවට පැමිණීම සිහි කරනු වස් ඇසළ පෙරහර පැවැත්වෙන බව තවත් මතයකි.

මුල් යුගයේ ඇසළ පෙරහර පැවතියේ සිව් මහා දේවාලයන්හි එක්වීමෙනි. වර්තමානයේ මේ දේවාල සතරට මුලින් දළදා මාලිගාවේ පෙරහර ගමන් කරයි. මුල් කාලයේ දළදා පෙරහර පවත්වා ඇත්තේ තනිවමය. වර්තමාන ශාසන පුනරුදයේ පුරෝගාමී චරිතය වූ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ ලක්දිවට උපසම්පදාව ගෙන ආ ප්‍රවර උපාලි මහා ස්වාමීන්ද්‍රයාණන්ට සිව්මහා දේවාලයන්හි පෙරහර පෙන් වූ බවත් උන්වහන්සේ විසින් බෞද්ධ ප්‍රබෝධය ඇතිකරනු පිණිස දළදා වහන්සේ සිහිකරනුවස් පැවැත් වූ පෙරහර ද මීට සම්බන්ධ කරන ලෙස දන්වා තිබේ. ඒ අනුව සංඝරාජ මාහිමියන්ගේ අනුශාසනා ඇතිව සද්ගුණවත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දළදා පෙරහර ද මීට සම්බන්ධ කරන ලදී. එවක් පටන් ඇසළ පෙරහර යන නාමයෙන් පැවැත්වූවත් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන්නේ දළදා පෙරහර යනුවෙනි. එතැන් පටන් මෙය ලක්දිව පැවැත්වෙන බෞද්ධ රාජ්‍ය උත්සවයක සිරි ගනු ලැබේ.

දළදා පෙරහර පවත්වනු ලබන්නේ සිව් දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුවය. මාළිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සාදනු ලබන නැකතට අනුව කප් සිටුවීම සිදු කරනු ලබයි.

කප් සිටුවා දින පහකට පසු දේවාල භූමියෙන් පිටත් කරනු ලබන රන් ආයුධ රන්සිවිගෙයක හිඳුවා එම රස්සිවිගෙය ඇතෙකු පිට තබා ඒ ඒ දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, වෙනත් නිලධරයන් මහත් හරසරින් යුක්තව පැමිණ දළදා මාළිගාව ඉදිරිපිට සිටිත්. මෙසේ සිටින්නේ දළදා පෙරහර ඉදිරියෙන් ගමන් කිරීම නිසාය. එළිමහනේ ගමන් කරනු ලබන මෙය හඳුන්වන්නේ කුඹල් පෙරහර නමිනි.

කුඹල් පෙරහර දින පහක් පැවැත්වීමෙන් පසු රන්දෝලි පෙරහර ආරම්භ වේ. රන්දෝලි පෙරහරේ විශේෂත්වය වන්නේ සිව් මහා දේවාලයන්හි රන්දෝලි (දේවාභරණ වැඩමවන වාහන විශේෂය) පෙරහරේ අගට එකතු කිරීමයි. මෙය මුල්කාලයේ පෙරහරේ එක් පසෙකින් ගමන් කර ඇති අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියෝගය පරිදි පෙරහරේ අවසානයේ ගෙන යනු ලබයි. මෙය වර්තමානයේ ද මේ ආකාරයෙන් ම පැවැත්වේ. රන්දෝලි පෙරහර සම්බන්ධයෙන් තවත් මත කිහිපයක් පවතී.

දිය කැපීම,

රන්දෝලි පෙරහර පසළොස්වක් පොහෝ දිනෙන් අවසන් වී පසුදා දිය කැපීම සිදු කරනු ලැබේ. දිය කැපීම සිදු කරන්නේ ගැටඹේ තොටේදීය. දිය කැපීම සිදු කරන්නේ සිව් මහා දේවාලයන් හි මූලිකත්වයෙනි. දිය කැපීම චාරිත්‍රයක් හැටියට සිදු කිරීම පිළිබඳ මත දෙකකි.

පෙරහර අවසානයේ කප් උදුරා දියේ පාකර යවන්නේ දෙවියන් නැවත විමන්වලට යාම සනිටුහන් කිරීමටය. දියකැපීමේ මංගල්‍යයෙන් පසු අලුත් දිය හා කඩු ආභරණ ආදිය නැවත පෙරහරෙන් වඩමවා සිව් දේවාලවල තැන්පත් කිරීමේ කාර්යයෙන් පසු ඇසළ පෙරහර නිමාවට පත්වේ. ඉන්පසු දියවඩන නිලමේ, බස්නායක නිලමේවරු ආදීන් රාජ්‍යය කරවන ප්‍රධානියා වෙත ගොස් පෙරහර සාර්ථකව සිදු කළ බව ප්‍රකාශ කිරීමෙන් පසු එකී රාජ්‍ය උත්සවයේ කටයුතු නිමා වේ.

z_Ven-WalivitaSoratha

මල්වතු මහා විහාරවාසී
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
කථිකාචාර්ය දර්ශනපති රාජකීය පණ්ඩිත
වැලිවිට සෝරත හිමි


awesomev3

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s