ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ අසිරිමත් ඇසළ පොහොය අද

බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග මහණුන් අරභයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වූහ. ඇසළ පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි සෑම සිදුවීමක් අතරම එය වඩාත් ප්‍රමුඛත්වය ගනියි. ශාසන ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත් පිළිබඳ විමසීමේදී ඓතිහාසික වූත් පූජනීය වූත් තවත් අසිරිමත් සිදුවීම් රැසකට මුල් වූ දිනයක් ලෙසද ඇසළ පොහොය දිනය හඳුන්වා දිය හැකිය.

ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමට අමතරව ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත්වීමට මුල් වන කරුණු මෙසේ ගොනුකොට පෙන්වා දිය හැකිය.

z_pic350-fea

වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම,

විසි නව වන වියේදී සතර පෙරනිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම,

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම,

රාහුල කුමරු ඉපදීම

ගණ්ඩබ්බ රුක් මුල් හිදී තීර්ථකයන් ගේ මානය මර්දනය කරනු වස් බුදුරදුන් යමාමහ පෙළහර පෑම,

මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදු කිරීම,

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු තෘතීය මහා ශ්‍රාවක මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම

ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේදී ඇසළ පොහොය සම්බන්ධයෙන් වැදගත් වන කරුණු මෙසේය.

  • මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීම,
  • ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීම,
  • දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨක චේතිය වටා කර වූ අටසැට ලෙන් පූජාව
  • මහරහතන් වහන්සේලා හැට දෙනමක් පළමුවරට ලක්දිව වස් එළඹීම.
  • දුටුගැමුණු මහරජු රුවන්වැලි මහසෑය තැනීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීම.
  • එම මහා සෑයෙහි ධාතු නිධානෝත්සවය සිදු කිරීම,
  • දළදා වහන්සේ ලක්දිවට වැඩම කර වීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම.
  • භික්ෂූන් වහන්සේලා වස් එළඹෙන දිනය වීම

ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ පළමුව පස්වග මහණුන් අරභයා මෙසේ දේශනා කළහ.

“ද්වෙ මේ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සේවිතබ්බා, යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනොගම්මො පොථුජ්ඡනිකො අනරියො අනන්ථ සංහිතො යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො, එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධො, චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.”

මෙහි සිංහල අර්ථය මෙසේය.

“මහණෙනි, පැවිද්දෙකු විසින් අත්හළ යුතු අන්ත දෙකකි. එනම් ලාමක වු ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වු වස්තු කාමයන් කෙරෙහි යම් කාමසුඛල්ලිකානුයෝගයක් ඇද්ද, එසේම දුක් උපදවන්නා වු අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වු යම් අත්තකිලමථානුයෝගයක් ඇද්ද මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලදහ. එම මග යාමෙන් ප්‍රඥා ඇස පිරිසුදු කෙරෙයි. නුවණැස ඇති කෙරෙයි. එය කෙලෙසුන් සංසිඳීම පිණිස චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස හේතු වන්නේය.”

සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහකොට ඇත. දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මෙම අංග සතර බෙදා වෙන්කොට තිබේ. බුදුදහමේ මූලික ඉගැන්වීම මෙම චතුරාර්ය සත්‍යයයි. පළමුව එන දුක තුළින් ඉගැන්වෙනුයේ ජාතිය හෙවත් ඉපදීම, ජරාව, හෙවත් සත්ත්වයා ගේ වයස් ගතවීම, රෝගය, මරණය, අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම හා කෙටියෙන් කිවහොත් උපාදාන ස්කන්ධ පහම දුක් සහගත බවයි.

දුක ඇතිවීමේ හේතුව ලෙස ඉගැන්වෙනුයේ නැවත ඉපදීමට හේතුවන (පොනොභවිකා) නන්දිරාගයෙන් යුක්තවන (නන්දිරාග සහගතා) ඒ ඒ තැන්හි ඇලෙනසුළු (තත්‍රතත්‍රාභිනන්දිනී) තණ්හාවයි. එනම් රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ යන පංච කාමයන් රසවිඳීම පිළිබඳ තණ්හාව (කාම තණ්හා) එම කාමයන් ස්ථිරය, සදාකාලිකය, දිගින් දිගටම පවත්නේය. යනුවෙන් නැවත නැවත ඉපදීමත්, පැවැත්මත් පිළිබඳ තණ්හාව (භව තණ්හා) නො ඉපදීමත්, නොපැවැත්මත් පිළිබඳ හෙවත් පංචස්කන්ධය හා බැඳුණු කාමයන් මෙතැනින් අවසන්ය. නැසීමෙන් කෙළවර වන්නේය. (විභව තණ්හා) යනුවෙන් උපදනා ආශාවයි.

දුක නැති කිරීම යනු තණ්හාව ඉතිරියක් නැතිව ඉවත් කිරීම , නැති කිරීම,අත්හැරීම, මුළුමනින්ම ඉවත දැමීම, ඉන් මිදීම හා එහි නො ඇලීමයි. දුක නැති කිරීමේ මාර්ගය නම් සම්මා දිට්ඨි , සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය. යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක්දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.

මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළින් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. ඒ අනුව ඇසළ පොහෝදා සිදුවු සදා අනුස්මරණීය සිදුවීම මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීමයි. ඓතිහාසික වූත්, පූජනීය වූත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ආමිෂ පුජාවන්ට මෙන්ම වෙසෙසින් ප්‍රතිපත්ති පූජාවන්ටද මුල්තැන දෙමින් අර්ථවත්ව සැමරීම කෙරෙහි සැදැහැවත් සියලු දෙනාම වඩාත් උත්සුක විය යුත්තාහුය.

z_Rev-UragamuweAssaji

giphy

source : BUDUSARANA MAGAZINE July 10

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s